Number swap in scholarship exam; student writes for exam using someone else's number

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී, අම්පාර වැව්සිරිගම විදුහලේ සිසුවෙකු විභාගය සඳහා පෙනී සිට ඇත්තේ තවත් සිසුවෙකුගේ විභාග අංකයක් භාවිත කරමින් බවට එම දරුවාගේ දෙමාපියන් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 10 වන දින අම්පාර කොනහර මහා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයෙනි.



පෙරවරු 9.00ට පමණ මව සමග විභාග මධ්‍යස්ථානයට පැමිණි මෙම සිසුවාව, පන්ති භාර ගුරුවරිය විසින් විභාග ශාලාව වෙත යොමු කර ඇත. ඒ වන විටත් සෙසු සිසුන් අසුන්ගෙන සිටි අතර,

ශාලාවේ හිස්ව තිබූ අසුනක මෙම දරුවා හිඳුවා ගුරුවරිය පිටව ගොස් ඇති බව පැවසේ. පසුව, දරුවා තමා අසුන්ගත් මේසය මත තිබූ විභාග අංකය සිය පිළිතුරු පත්‍රයේ සටහන් කර තිබේ.

විභාගය අතරතුර පරීක්ෂකවරුන් විසින් දරුවන්ගේ නම් සහ අත්සන් ලබාගැනීමේදී පවා මෙම දෝෂය හඳුනාගෙන නොමැත. විභාගයෙන් පසු නිවසට පැමිණි දරුවාගෙන් විස්තර විමසීමේදී, තමන් ලියා ඇත්තේ මේසය මත තිබූ අංකය බව පැවසීමත් සමග දෙමාපියන් කලබලයට පත්ව ඇත. වහා ක්‍රියාත්මක වූ පියා, නැවත විභාග මධ්‍යස්ථානය වෙත ගොස් දරුවා විභාගය ලියූ ස්ථානය තහවුරු කර ගැනීමේදී ඔහු වෙනත් අංකයකට විභාගය ලියා ඇති බවට සනාථ කරගෙන ඇත.



ඔවුන් මේ බව පන්ති භාර ගුරුතුමියට සහ විදුහල්පතිනියට දැනුම් දුන් නමුත්, එවැනි වරදක් ශාලා පරීක්ෂකවරුන්ට හසුවිය යුතු බවට විදුහල්පතිනිය ප්‍රකාශ කර තිබේ. මේ අතර, මෙම අංක මාරුවීම හේතුවෙන් තවත් දරුවෙකුට ද ගැටලුවක් මතුව ඇති බවට අනාවරණය වී ඇත.

මෙම අසාධාරණය සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිලි කර, එහි පිටපත් ජනාධිපතිවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරිය, මානව හිමිකම් කොමිෂන් සභාව සහ අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ වංචා විමර්ශන අංශය වෙත ද යොමු කිරීමට පියවර ගෙන තිබේ.

සිදුවීම පිළිබඳව කළ විමසීමකදී අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.ආර්. අබේරත්න මහතා සඳහන් කළේ, තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳව විභාග කොමසාරිස්වරිය දැනුවත් කර විධිමත් විමර්ශනයක් ආරම්භ කරන බවත්ය.